ජාතික විශ්‍රාමික දිනය අද
සේවයෙන් විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨයන් සැමරෙන දිනය සෑම වසරකම ඔක්තෝබර් මස 08 වැනිදාට යෙදී තිබේ. උද්යෝගීමත් සහ ජවසම්පන්න තාරුණ්‍යයේ ශක්තීන් ජාතියේ උන්නතිය වෙනුවෙන් කැප කළ පරපුරක පුරුකක් වූ සියලු දෙනා අභිමානයෙන් සිහිපත් කිරීමට මෙම දිනය කප කර ඇත්තේ අසීමිත ගෞරවයකින් යුතුවය. රටේ ජීවය බඳු වූ ශ්‍රම බලකායේ කොටස්කරුවන් වෙමින් ලබා දුන් අපරිමිත දායකත්වය සදා සිහිපත් කළ යුතුය.
එකී මෙහෙවරට ලබා දෙන ඉහළම ප්‍රණාමය ලෙස විශ්‍රාමික සැඳෑ ජීවිතය ආර්ථික සමාජයීය මෙන්ම සෞඛ්‍ය හා අධ්‍යාත්මික වශයෙන් ද අර්ථපූර්ණ කිරීම විශ්‍රාම වැටුප් දෙපාරතමේන්තුව වන අපගේ වගකීම වන්නේය. සෑම මසකම ඔක්තෝබර් 10 වැනිදා හෝ ඊට පෙර දිනකදී විශ්‍රාම වැටුප් ප්රතිලාභ විශ්‍රාමිකයන්ගේ අතට පත් කිරීම අපගේ පළමු සහ පරම වගකීම වන අතර අඩසියවසකට අධික විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ගමන් මඟ තුළ එය නොපිරිහෙලා ඉටු කර ඇත.
ඉන් ඔබ්බට ගොස් ඩිජිටල් තාක්ෂණික උපාය මාර්ග හා සන්නිවේදන නව්‍යකරණයන් හා යාවත්කාලීන වෙමින් රාජ්‍ය අංශයේ ප්‍රමුඛතම සමාජ ආරක්ෂණ ක්‍රමය වන ‘ජාතික විශ්‍රාම වැටුප් ක්‍රමය’ අන්තර්ජාතික ප්රමිතීන් වෙත ඔසවා තැබීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තමේන්තුව ඉකුත් වසර කිහිපයක කාලය තුළ මහත් පරිශ්‍රමයක් දරා ඇත.
විශ්‍රාම වැටුප් ඇතුළු සියලු ප්රතිලාභ ගෙවීම් පද්ධති සරල කිරීමට හැකියාව ලැබී ඇත්තේ ඒ අනුවයි. විශ්‍රාම වැටුප ලබා ගැනීමේ සෑම පියවරක්ම ඩිජිටල් පද්ධතීන් ඔස්සේ තවදුරටත් සුහුරු වනු දැකීමත් වර්තමාන ආර්ථික හා සමාජයීය යථාර්ථයන්ට අනුරූපී ලෙස විධිමත් හා අවිධිමත් අංශයන් ඇතුළත් ඉතා පුළුල් සමාජ ආරක්ෂණ ප්රතිපත්තීන් හඳුන්වා දීමත් අපගේ අභිප්‍රායයි.
විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයාගේ ජාතික විශ්‍රාමික දින සුභ පැතුම් පණිවිඩය
මධ්‍යම රජය, පළාත් රාජ්‍ය සේවා,සන්නද්ධ හමුදා මෙන්ම අධිකරණ නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා වසර 1970 දී “A” ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ස්ථාපිත කරනු ලැබිණි.
විශ්‍රාම වැටුප,වැන්දඹු විශ්‍රාම වැටුප,වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප,අනත්දරු විශ්‍රාම වැටුප,ආබාධිත අනත්දරු විශ්‍රාම වැටුප,හමුදා හා සන්නද්ධ සේවා විශ්‍රාම වැටුප, මෙන්ම වන්දි ගෙවීම් සහ එක්වරක් පමණක් ගෙවනු ලබන පාරිතෝෂිත දීමනා,මරණ පාරිතෝෂික ගෙවීම්,රාජ්‍ය සේවා අර්ථ සාධක ගෙවීම් ද ඇතුළත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පුළුල් විෂය පථය රටේ සැලකිය යුතු කොටසකගේ සමාජ ආරක්ෂණ හිමිකම් තහවුරු කරනු ලබයි.
මෙම සියලුම විෂය පථයන් ආවරණය වන පරිදි විශ්‍රාම වැටුප් ගෙවීම සිදු කරන අතරම එම ගෙවීම් ක්‍රියාවලිය ඩිජිටල් තාක්ෂණික ක්රමෝපායන් හා සන්නිවේදන ක්‍රියාවලියක් ඔස්සේ බද්ධ කරනු ලැබු පසුගිය දශකයෙන් ආසන්න වසර අටක කාල සීමාව තුළ විශ්‍රාම වැටුප් අධ්යක්ෂවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි.
ගෙවීම් ක්‍රියාවලිය තුළ තොරතුරු තාක්ෂණ භාවිතය උපරිම කිරීමට අප ගත් ප්රයත්නයන් තුළ විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලියේ අදියර ගණනාවක් මාර්ගගත ක්‍රමය හා යා කිරීමට අපට හැකියාව ලැබිණි. විශ්‍රාම වැටුප් ඇතුළු සියලුම ප්රතිලාභ ගෙවීමේ පද්ධති සරල කිරීම ඒ අනුව අඛණ්ඩව සිදුවෙමින් පවතී. කවර අභියෝගාත්මක වාතාවරණයක දී වුවත් ගෙවීම් ක්‍රියාවලියට බාධා නොවන ලෙස එම පද්ධති පවත්වා ගෙන යාමට එමඟින් ඉඩ සැලසෙනු ඇත.
රජය විසින් ජාතික අයවැයෙන් 2024 වර්ෂය සඳහා රු බිලියන 435කට අධික මුදලක් වෙන් කරමින් සෑම මසකම 10 වැනිදා හෝ ඊට පෙර දිනකදී 720,000 ක් ඉක්මවූ සක්‍රීය විශ්‍රාමිකයන් අතට විශ්‍රාමික ප්රතිලාභ පත්වන්නේ ගෙවීම් ක්‍රියාවලියේ මෙම සංකීර්ණ බව නොදැනෙන පරිදිය.
ජාතික විශ්‍රාම වැටුප් ක්රමයේ ප්‍රතිසංස්කරණ යනු නිරන්තරයෙන් අභියෝගයට ලක් වන්නකි. කවර හෝ මූල්‍ය පීඩනයන්ට යටත් නොවන රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙන් සිදුවන තිරසාර සමාජ ආරක්ෂණ ක්රමයන් වෙත ලොව බලගතුම රාජ්‍යයන් පවා පිය නඟමින් සිටින්නේය. වසර සිය ගණනාවක් පැරැණි විශ්‍රාම වැටුප් ක්‍රමය වර්තමානයට ගැළපීම සඳහා අවශ්‍ය සංශෝධනයන් සඳහා ගත යුතු ක්‍රියාමාර්ග වෙත රජයේ අවධානය යොමු කිරීමට අප කටයුතු කර ඇත්තේ ඒ අනුව බව ද සිහිපත් කළ යුතුය.
විශ්‍රාමය වර්ණවත් හා අර්ථපූර්ණ කාල පරිච්ඡේදයක් කිරීමට අප ඉදිරියටත් කැප වී සිටින අතර ශ්‍රී ලාංකික සමස්ත විශ්‍රාමික ප්‍රජාව වෙත ගත සිත සවිමත් නීරෝගීමත් විශ්‍රාම දිවියකට සුභ ප්‍රාර්ථනා කරමි.
ඒ.ජගත් ඩී.ඩයස්
විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්
අධිකරණ,රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ජාතික විශ්‍රාමික දින සුභ පැතුම් පණිවිඩය
රජයේ සේවයෙන් විශ්‍රාම ගන්වන නිලධාරියාට පමණක් නොව ඔහුගෙන් මතු උරුමකරුවන් වෙතත් ප්රතිලාභ හිමි ගන්වන සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් ලෙස මෙතෙක් පැමිණි දුර සලකා බැලීමේ දී ශ්‍රී ලංකාවේ ජාතික විශ්‍රාමික ප්‍රතිපත්තිය අඛණ්ඩව පවත්වාගෙන යාම රටක් ලෙස ලැබූ ජයග්‍රහණයකි.
නියමිත වේලාවට විශ්‍රාම වැටුප් ප්රතිලාභ ගෙවීමෙන් නොනැවතී සක්‍රීය සමාජ ක්‍රියාකාරිකයකු හා ගෞරවණීය පුරවැසියකු ලෙස ජීවිතය ගත කිරීම සඳහා අවශ්‍ය සියලු අවස්ථා විශ්‍රාමිකයා වෙත ලබා දීම අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය අභිලාෂය වන්නේය.
ශ්‍රි ලංකාවේ විශ්‍රාම වැටුප් ක්රමයේ විකාශනය සැලකීමේ දී නිසි මොහොතේ අත්‍යාවශ්‍ය ප්‍රතිපත්ති තීන්දු තීරණ ගැනීම මෙන්ම එම තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමෙහිලා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ද ඉතා වැදගත්ය.
මෙම අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ආයතන අතර ඩිජිටල් තාක්ෂණය හා සුහුරු පරිවර්තනයන් නිරන්තරයෙන් උකහා ගන්නා රාජ්‍ය ආයතනයක් ලෙස විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රමය සරල කිරීමටත් විශ්‍රාමිකයා අතට පත් කිරී මේ යාන්ත්‍රණය සුව පහසු කිරීමටත් ගන්නා ප්රයත්නය අගය කළ යුතුය.
එය හුදෙක් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඵල කිරීමක් ලෙස පමණක් නොසලකන අතර එය මේ රටේ විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් ලබා දුන් ගෞරවණීය සැලකිල්ලක් ලෙස විශ්වාස කරන්නෙමි.
ජාතික විශ්‍රාම වැටුප් ක්රමයේ අඛණ්ඩ පැවැත්ම තවදුරටත් තහවුරු කිරීම හා විශ්‍රාමික හිමිකම් සුරක්ෂිත කිරීමට අප බැඳී සිටින බව ද ජාතික විශ්‍රාමික දිනය සැමරෙන මේ මොහොතේ සිහිපත් කරමින් සමස්ත විශ්‍රාමික ප්‍රජාව වෙත නීරෝගී හා අර්ථවත් විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරමි.
එස් ආලෝක බණ්ඩාර
ලේකම්
අධිකරණ,රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය
ශ්‍රී ලංකාවේ ගරු අග්‍රාමාත්‍ය හා අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය හරිනි අමරසූරිය මැතිණියගේ ‘ජාතික විශ්‍රාමික දින’ පණිවිඩය
රටක ජීවනාලිය වන ශ්‍රම බලකායේ කොටස්කරුවෙකු වෙමින් මාතෘ භූමියේ උන්නතිය වෙනුවෙන් කැපවී රජයේ සේවය ලබා දුන් දායකත්වය සිහිපත් කරන ගෞරවණීය විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ දිනය අදට යෙදී තිබේ. ‘ජාතික විශ්‍රාමික දිනය’ දශක ගණනාවක ඔවුන්ගේ මෙහෙවරට පිදෙන සංකේතාත්මක උපහාරයක් පමණි. ඔවුන්ගේ සැඳෑ ජීවිතය ආර්ථික හා සමාජයීය වශයෙන් සවි බල ගැන්වීම දියුණු ජාතියක් ලෙස ලබා දිය හැකි ඉහළම උපහාරය වන්නේය.
ආර්ථික හා සමාජයීය වශයෙන් ශක්තිමත් පුරවැසියකු පමණක් නොව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසි ඔබ වෙත සෞඛ්‍ය සම්පන්න,අධ්‍යාත්මික වශයෙන් පරිපූර්ණ, දියුණු සංස්කෘතික පුරවැසියකු ලෙස ජීවත්වීම සඳහා අවකාශය සැලසීම ද අපගේ පරම වගකීමක් වේ.
ආරක්ෂිත සමාජයක් සහ සුපෝෂිත ජාතියක් දැක්ම කරගත් නව රජයේ ප්රතිපත්තීන් තුළ ජාතික විශ්‍රාම වැටුප් ප්රතිපත්තීන් තිරසරව හා අඛණ්ඩව පවත්වා ගනිමින් විධිමත් හා අවිධිමත් අංශයන්හි දායකත්වය සහිතව සැමට විශ්‍රාම වැටුපක් ලබා දීමේ පුළුල් ප්‍රතිපත්තියක් පවත්නා ආයතනික රාමුව තුළ සකස් කර ක්‍රියාත්මක කිරීම අනාගතයේ දී සිදුවනු ඇත.
මේ වන විට සිය මෙහෙවර නිම කළ සක්‍රීය විශ්‍රාමිකයන්ගේ සාමුහිකය 720,000 ඉක්මවා ගොසිනි. 2024 වසරේ දී රජය විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රු. බිලියන 434කට අධික මුදලක් වෙන් කර ඇත.
මෙරට සෑම පුරවැසියක්ගේම සැඳෑ ජීවිතය අධ්‍යාත්මික, සමාජයීය, ආර්ථික යන සෑම අංශයකින්ම දියුණුවට පත් කිරීම අපගේ අරමුණයි. එම අරමුණ පෙරදැරිව සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක් හිමිවන පුළුල් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමේ දී ඔබ ද එහි කොටස්කරුවන් වනු නොඅනුමානය.
රාජ්‍ය සේවයේ වසර ගණනාවක අත්දැකීම්, පරිචය සහ ජීවිත කාලය පුරාම වැඩි දියුණු කරගත් යහපත් ආකල්ප, රටේ මතු පරපුර වෙනුවෙන් දායාද කරමින් තව දුරටත් සක්‍රීය පුරවැසියකු ලෙස සමාජ ප්‍රගමණයට ඔබ දායකවනු දැකීම අපගේ අභිලාෂයයි.
ඔබ සැමට නිදහස් නිවහල් සුවබර විශ්‍රාම දිවියක් පතමි.
අග්‍රාමාත්‍ය
හරිනි අමරසූරිය
අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය
විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයාගේ සිංහල හා හින්දු අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය
ශ්‍රී ලාංකිකයන් වන අප සැමගේ සිත් සතන්වල සාමය,සතුට සහ ප්‍රේමය පුරවන කාල සීමාව බක් මාසය සමඟ උදා වේ. ජාතියෙන්, ආගමෙන්, තනතුරෙන්, ආර්ථික හා සමාජයීය තත්ත්වයෙන්, දේශපාලනයෙන් පමණක් නොව එකම රටක් තුළ පළාතෙන්, ප්‍රදේශයෙන් පවා බෙදී වෙන් වී ගිය අපට බක් මාසය උදාවීමත් සමඟ එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු ආශිර්වාදයකි. එකමුතු වීමෙත් එක්සත් වීමේත් සංකේතයකි.
සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ පදනම සුබ හෝරාවන්ය. ආහාර ගැනීම, වැඩ ඇල්ලීමේ සිට රාජකාරී සඳහා පිටත්ව යාම දක්වා සියලු කටයුතු සුබ මොහොතින් ආරම්භ කිරීම ඒ ඔස්සේ සිදු වේ. "සුබ" යන සිතුවිල්ලෙන් ආරම්භ කරන ඕනෑම කටයුත්තක දී ධනාත්මක බව මූලික වන නිසා එය සාර්ථක වීමේ සම්භාවිතාව වැඩිය. එම අර්ථයෙන් ගත් කළ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ දී අපේ ජීවිතයට බද්ධ සෑම කර්තව්‍යයක්ම "සුබ" මොහොතින් සිදු කරන අතරම වසර පුරාවටත් මුළු ජීවිත කාලයත් සර්ව ප්‍රකාරයෙන්ම "සුබ" කර ගැනීමේ සිතුවිල්ල ක්‍රියාත්මක වේ. ඇත්ත වශයෙන්ම "සුබ" හෝරාවට ද ඉහළින් පවතින්නේ "සුබ" යන සිතුවිල්ලයි.
එබැවින් වසර සිය දහස් ගණනක් පුරා අප විසින් ඉටු කළ නැකැත් හෝරාවන් පිළිබඳ කවර තර්ක පැවැතියත් කුමන මතවාද ගැටුම් පැවතියත් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන කාල සීමාව පුරාවට සුබ සහ ධනාත්මක සිතුවිලි පෙරදැරිව චාරිත්‍ර වාරිත්‍රවල නිරත වීම බෙහෙවින් වටින බව මාගේ හැඟීමයි. සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්ලය තුළ සැඟවී තිබෙන මෙම අප්රකාශිත සත්‍යයන් මතු පරපුරට දායාද කිරීම අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ ප්‍රජාවගේ පරම වගකීමකි. දුවා දරුවන් මුණුපුරන් පිරිවරාගෙන අලුත් අවුරුද්ද සමරන සේවයෙන් ඉසිඹු ලැබූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨයින් වන ඔබ සියලු දෙනා එහි දී පෙරමුණ ගත යුතුය.
2024 අයවැය යෝජනා අනුව විශ්‍රාමිකයන්හට වැඩි කළ ජීවන වියදම් දිමනාව අවුරුදු මාසයේ විශ්‍රාම වැටුපට හිමි ගැන්වූ බව දන්වන්නට ලැබීම ද සතුටකි. ඒ අනුව මේ වන විට ජීවන වියදම් හිමි විශ්‍රාමිකයන්ට ඔවුන්ට හිමි ජීවන වියදම් ප්‍රතිශතය අනුව වැඩිකළ ජීවන වියදම් දීමනාව වන රු.2500 ක මුදලක් හිමි වේ. එසේ වුවත් එම හිමි ගැන්වීම ඇතුළුව මේ වන විට විශ්‍රාමිකයන්ට පිරිනමන ජීවන වියදම් දීමනාව ප්‍රමාණවත් නොවන බවත් එය රාජ්‍ය සේවකයින්ට මෙන් 2024 ජනවාරි මාසයේ සිට නොලැබීම පිළිබඳවත් විශ්‍රාමිකයා තුළ ඇති වේදනාව ද අපට හොඳාකාරවම දැනෙන බව කිව යුතුය. කියන්නට ඇත්තේ එම කාරණාව ඇතුළු විශ්‍රාමිකයන්ට මේ මොහොතේ බලපා ඇති බොහෝ ගැටලු පිළිබඳ විශ්‍රාමික සංගම් නියෝජනය කරන විශ්‍රාමිකයන්, රජය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අතර ඇති කරගෙන සිටින සංවාදයන් පිළිබඳ 'සුබවාදීව' සිටින ලෙසයි.
මේ වන විට 7,10,000 ක් ඉක්මවා සිටින ශ්‍රී ලාංකික විශ්‍රාමික ඔබ සැමටත්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව කටයුතු කරන නිලධාරින් සැම දෙනාටත් ශ්‍රී ලංකාවාසී ඔබ සැමටත් ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය,සතුට,සහනය සහ නිරෝගීකම පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි.
ඒ.ජගත්.ඩී ඩයස්
විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්