මධ්‍යම රජය, පළාත් රාජ්‍ය සේවා,සන්නද්ධ හමුදා මෙන්ම අධිකරණ නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා වසර 1970 දී “A” ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ස්ථාපිත කරනු ලැබිණි.

විශ්‍රාම වැටුප,වැන්දඹු විශ්‍රාම වැටුප,වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප,අනත්දරු විශ්‍රාම වැටුප,ආබාධිත අනත්දරු විශ්‍රාම වැටුප,හමුදා හා සන්නද්ධ සේවා විශ්‍රාම වැටුප, මෙන්ම වන්දි ගෙවීම් සහ එක්වරක් පමණක් ගෙවනු ලබන පාරිතෝෂිත දීමනා,මරණ පාරිතෝෂික ගෙවීම්,රාජ්‍ය සේවා අර්ථ සාධක ගෙවීම් ද ඇතුළත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පුළුල් විෂය පථය රටේ සැලකිය යුතු කොටසකගේ සමාජ ආරක්ෂණ හිමිකම් තහවුරු කරනු ලබයි.

මෙම සියලුම විෂය පථයන් ආවරණය වන පරිදි විශ්‍රාම වැටුප් ගෙවීම සිදු කරන අතරම එම ගෙවීම් ක්‍රියාවලිය ඩිජිටල් තාක්ෂණික ක්‍රමෝපායන් හා සන්නිවේදන ක්‍රියාවලියක් ඔස්සේ බද්ධ කරනු ලැබු පසුගිය දශකයෙන් ආසන්න වසර අටක කාල සීමාව තුළ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි.

ගෙවීම් ක්‍රියාවලිය තුළ තොරතුරු තාක්ෂණ භාවිතය උපරිම කිරීමට අප ගත් ප්‍රයත්නයන් තුළ විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලියේ අදියර ගණනාවක් මාර්ගගත ක්‍රමය හා යා කිරීමට අපට හැකියාව ලැබිණි. විශ්‍රාම වැටුප් ඇතුළු සියලුම ප්‍රතිලාභ ගෙවීමේ පද්ධති සරල කිරීම ඒ අනුව අඛණ්ඩව සිදුවෙමින් පවතී. කවර අභියෝගාත්මක වාතාවරණයක දී වුවත් ගෙවීම් ක්‍රියාවලියට බාධා නොවන ලෙස එම පද්ධති පවත්වා ගෙන යාමට එමඟින් ඉඩ සැලසෙනු ඇත.

රජය විසින් ජාතික අයවැයෙන් 2024 වර්ෂය සඳහා රු බිලියන 435කට අධික මුදලක් වෙන් කරමින් සෑම මසකම 10 වැනිදා හෝ ඊට පෙර දිනකදී 720,000 ක් ඉක්මවූ සක්‍රීය විශ්‍රාමිකයන් අතට විශ්‍රාමික ප්‍රතිලාභ පත්වන්නේ ගෙවීම් ක්‍රියාවලියේ මෙම සංකීර්ණ බව නොදැනෙන පරිදිය.

ජාතික විශ්‍රාම වැටුප් ක්‍රමයේ ප්‍රතිසංස්කරණ යනු නිරන්තරයෙන් අභියෝගයට ලක් වන්නකි. කවර හෝ මූල්‍ය පීඩනයන්ට යටත් නොවන රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙන් සිදුවන තිරසාර සමාජ ආරක්ෂණ ක්‍රමයන් වෙත ලොව බලගතුම රාජ්‍යයන් පවා පිය නඟමින් සිටින්නේය. වසර සිය ගණනාවක් පැරැණි විශ්‍රාම වැටුප් ක්‍රමය වර්තමානයට ගැළපීම සඳහා අවශ්‍ය සංශෝධනයන් සඳහා ගත යුතු ක්‍රියාමාර්ග වෙත රජයේ අවධානය යොමු කිරීමට අප කටයුතු කර ඇත්තේ ඒ අනුව බව ද සිහිපත් කළ යුතුය.

විශ්‍රාමය වර්ණවත් හා අර්ථපූර්ණ කාල පරිච්ඡේදයක් කිරීමට අප ඉදිරියටත් කැප වී සිටින අතර ශ්‍රී ලාංකික සමස්ත විශ්‍රාමික ප්‍රජාව වෙත ගත සිත සවිමත් නීරෝගීමත් විශ්‍රාම දිවියකට සුභ ප්‍රාර්ථනා කරමි.

ඒ.ජගත් ඩී.ඩයස්

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline