ශ්‍රී ලාංකිකයන් වන අප සැමගේ සිත් සතන්වල සාමය,සතුට සහ ප්‍රේමය පුරවන කාල සීමාව බක් මාසය සමඟ උදා වේ. ජාතියෙන්, ආගමෙන්, තනතුරෙන්, ආර්ථික හා සමාජයීය තත්ත්වයෙන්, දේශපාලනයෙන් පමණක් නොව එකම රටක් තුළ පළාතෙන්, ප්‍රදේශයෙන් පවා බෙදී වෙන් වී ගිය අපට බක් මාසය උදාවීමත් සමඟ එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු ආශිර්වාදයකි. එකමුතු වීමෙත් එක්සත් වීමේත් සංකේතයකි.

සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ පදනම සුබ හෝරාවන්ය. ආහාර ගැනීම, වැඩ ඇල්ලීමේ සිට රාජකාරී සඳහා පිටත්ව යාම දක්වා සියලු කටයුතු සුබ මොහොතින් ආරම්භ කිරීම ඒ ඔස්සේ සිදු වේ. "සුබ" යන සිතුවිල්ලෙන් ආරම්භ කරන ඕනෑම කටයුත්තක දී ධනාත්මක බව මූලික වන නිසා එය සාර්ථක වීමේ සම්භාවිතාව වැඩිය. එම අර්ථයෙන් ගත් කළ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ දී අපේ ජීවිතයට බද්ධ සෑම කර්තව්‍යයක්ම "සුබ" මොහොතින් සිදු කරන අතරම වසර පුරාවටත් මුළු ජීවිත කාලයත් සර්ව ප්‍රකාරයෙන්ම "සුබ" කර ගැනීමේ සිතුවිල්ල ක්‍රියාත්මක වේ. ඇත්ත වශයෙන්ම "සුබ" හෝරාවට ද ඉහළින් පවතින්නේ "සුබ" යන සිතුවිල්ලයි.

එබැවින් වසර සිය දහස් ගණනක් පුරා අප විසින් ඉටු කළ නැකැත් හෝරාවන් පිළිබඳ කවර තර්ක පැවැතියත් කුමන මතවාද ගැටුම් පැවතියත් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන කාල සීමාව පුරාවට සුබ සහ ධනාත්මක සිතුවිලි පෙරදැරිව චාරිත්‍ර වාරිත්‍රවල නිරත වීම බෙහෙවින් වටින බව මාගේ හැඟීමයි. සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්ලය තුළ සැඟවී තිබෙන මෙම අප්‍රකාශිත සත්‍යයන් මතු පරපුරට දායාද කිරීම අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ ප්‍රජාවගේ පරම වගකීමකි. දුවා දරුවන් මුණුපුරන් පිරිවරාගෙන අලුත් අවුරුද්ද සමරන සේවයෙන් ඉසිඹු ලැබූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨයින් වන ඔබ සියලු දෙනා එහි දී පෙරමුණ ගත යුතුය.

2024 අයවැය යෝජනා අනුව විශ්‍රාමිකයන්හට වැඩි කළ ජීවන වියදම් දිමනාව අවුරුදු මාසයේ විශ්‍රාම වැටුපට හිමි ගැන්වූ බව දන්වන්නට ලැබීම ද සතුටකි. ඒ අනුව මේ වන විට ජීවන වියදම් හිමි විශ්‍රාමිකයන්ට ඔවුන්ට හිමි ජීවන වියදම් ප්‍රතිශතය අනුව වැඩිකළ ජීවන වියදම් දීමනාව වන රු.2500 ක මුදලක් හිමි වේ. එසේ වුවත් එම හිමි ගැන්වීම ඇතුළුව මේ වන විට විශ්‍රාමිකයන්ට පිරිනමන ජීවන වියදම් දීමනාව ප්‍රමාණවත් නොවන බවත් එය රාජ්‍ය සේවකයින්ට මෙන් 2024 ජනවාරි මාසයේ සිට නොලැබීම පිළිබඳවත් විශ්‍රාමිකයා තුළ ඇති වේදනාව ද අපට හොඳාකාරවම දැනෙන බව කිව යුතුය. කියන්නට ඇත්තේ එම කාරණාව ඇතුළු විශ්‍රාමිකයන්ට මේ මොහොතේ බලපා ඇති බොහෝ ගැටලු පිළිබඳ විශ්‍රාමික සංගම් නියෝජනය කරන විශ්‍රාමිකයන්, රජය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අතර ඇති කරගෙන සිටින සංවාදයන් පිළිබඳ 'සුබවාදීව' සිටින ලෙසයි.

මේ වන විට 7,10,000 ක් ඉක්මවා සිටින ශ්‍රී ලාංකික විශ්‍රාමික ඔබ සැමටත්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව කටයුතු කරන නිලධාරින් සැම දෙනාටත් ශ්‍රී ලංකාවාසී ඔබ සැමටත් ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය,සතුට,සහනය සහ නිරෝගීකම පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි.

 

ඒ.ජගත්.ඩී ඩයස්

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline