විමධ්‍යගත විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රමය

විමධ්‍යගත ක්‍රමය මඟින් විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීමේ බලය සම්පූර්ණයෙන්ම ආයතන ප්‍රධානියා වෙත විමධ්‍යගත කිරීමයි.

එසේ වුවද සියලුම රාජ්‍ය ආයතන විසින් විශ්‍රාම වැටුප් ප්‍රදානයට ප්‍රථම නිලධාරින්ගේ විශ්‍රාම වැටුප් අයදුම්පත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමේ මූලික අරමුණ වනුයේ විශ්‍රාමිකයින් සඳහා විශ්‍රාම වැටුප් අංක ලබා ගැනීම, ප්‍රථම විශ්‍රාම වැටුප් සක්‍රිය කිරීම හා පාරිතෝෂික ගෙවීම් කිරීම යන කරුණු සාක්ෂාත් කර ගැනීම සඳහාය.

ඒ අනුව විශ්‍රාම අයදුම්පත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යොමු කරන අවස්ථාවේ සිට සියළුම කටයුතු පරිගණක මාර්ගගත ක්‍රමයට සිදු කෙරේ. නිලධාරියා විශ්‍රාම ගැන්වීමේ දිනයට ප්‍රමාණවත් කාලයකට පෙර අදාල අයදුම්පත්‍ර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු වේ. මෙම ක්‍රමය යටතේ විශ්‍රාම ගන්වන දිනම එම විශ්‍රාමිකයාට අදාල විශ්‍රාම වැටුප් ප්‍රදානය ලබා ගෙන රාජ්‍යය සේවය වෙනුවෙන් නිලධාරියා කරන ලද කැප කිරීම් අගය කරනු පිණිස මෙන්ම ආත්මාභිමානයක් ඇති කරනු වස් ඔහු/ඇය ගෞරවාන්විතව විශ්‍රාම ගැන්වීමට ආයතන වලට හැකියාව ලැබී තිබේ.

විමධ්‍යගත ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප් ප්‍රදානය සිදු කරන අවස්ථා

  • අනිවාර්ය විශ්‍රාම ගැන්වීම ( විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 17 වගන්තිය )
  • වෛකල්පිත විශ්‍රාම ගැන්වීම (විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 17 වගන්තිය )
  • වෛද්‍ය හේතු මත විශ්‍රාම ගැන්වීම (විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 14 වගන්තිය )
  • හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් ( පෙර වින්නඹු මාතාවන් ), ගුරුවරියන් හා කාන්තා පොලිස් නිලධාරිනියන් හා බන්ධනාගාර නිලධාරිනියන් වයස අවුරුදු 50 එළඹී දිනය හෝ සේවා කාලය වසර 20 සම්පූර්ණ වන දිනය හෝ ය දින දෙකෙන් පළමුව එළඹෙන දිනයේ සිට විශ්‍රාම ගැන්වීම (විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 14 වගන්තිය )
  • අධිකරණ නිලධාරින් විශ්‍රාම ගැන්වීම (විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 25 වගන්තිය )
  • ත්‍රිවිධ හමුදා නිලධාරින් විශ්‍රාම ගැන්වීම

 

විමධ්‍යගත ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප් ප්‍රදානය සිදුකරන අවස්ථා

2015-04-24 දිනැති අංක 03/2015 චක්‍රෙල්ඛය සහ එහි සංශෝධන ඇතුලත් විශ්‍රාම වැටුප් චක්‍රෙල්ඛන වලින් ද අංක 07/2018 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රෙල්ඛනයෙන් ද මේ සම්බන්ධයෙන් වන විධි විධාන සඳහන් කොට ඇත.

එහිදී විෂය නිලධාරීන් විසින් විශ්‍රාම කළමනාකරණ පද්ධතිය (PMS) වෙත විශ්‍රාමිකයාට අදාළ දත්ත සම්පූර්ණව හා නිවැරදිව ඇතුළත් කළ පසු මුද්‍රිත PD 03 අයදුම්පත්‍රය අදාල ආයතන ප්‍රධානියා මඟින් නිසි පරිදි සහතික කොට පහත දැක්වෙන ලේඛන සමඟ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුය.

  • විශ්‍රාම ගැන්වීමේ ලිපියෙහි සහතික කරන ලද පිටපත
  • විශ්‍රාම ගන්වන දිනට මාස 06 ක් ඇතුළත වැටුප් විස්තරයක (Pay slip ) සහතික කරන ලද පිටපත
  • වැටුප් පරිවර්තන ලිපිය ( රා.ප.ච. 3/2016 අනුව) ලද පිටපත
  • ජාතික හැදුනුම්පතෙහි සහතික කරන ලද පිටපත
  • බැංකු පාස් පොතෙහි සහතික කරන ලද පිටපත‍ ( තනි පුද්ගල, ඉතුරුම් බැංකු ගිණුමක් විය යුතුය)

අදාල ආයතනය විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද PD 03 අයදුම්පත්‍රය පරීක්ෂා කොට එහි කිසි අඩුපාඩුවක් නොමැතිනම් විශ්‍රාම වැටුප් කළමනාකරණ දත්ත පද්ධතිය මඟින් විශ්‍රාම වැටුප් අංකයක් නිකුත් කරනු ලබයි.

ඉන්පසු විශ්‍රාමිකයා වෙත විශ්‍රාම වැටුප් සක්‍රිය කිරීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා දිනයක් හා ‍වේලාවක් දෙනු ලබයි. එකී කැඳවීම විශ්‍රාමිකයාගේ ජංගම දුරකථනය වෙත ද කෙටි පණිවිඩයක් මාර්ගයෙන් යොමු කෙරේ.

ප්‍රථම විශ්‍රාම වැටුප සක්‍රිය කිරීම

අතීතයේ දී විශ්‍රාම වැටුපක් සක්‍රිය කිරීමට හා සක්‍රිය කිරීමෙන් පසු එහි පශ්චාත් කටයුතු කළමනාකරණය කිරීම සඳහා විශ්‍රාමිකයාට කිහිප වතාවක් විශ්‍රාමිකයාට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණීමට සිදු විය.

එසේම විශ්‍රාමිකයා මිය යාමෙන් පසු ඔහුගේ/ඇයගේ පවුලේ සාමාජිකයින්ට තම වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ලබා ගැනීමට ද නැවත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණීමට සිදු විය.

මෙම තත්වය මඟ හරවා විශ්‍රාමිකයින්ට සිදු වන අපහසුතා අවම කිරීම සඳහා 2015 වර්ෂයේ සිට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී. ඒ අනුව, විශ්‍රාමිකයෙකු විශ්‍රාම ගිය විට සිය ජීවිත කාලය තුළ එක් වරක් පමණක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණීමටත්, එහිදී විශ්‍රාමිකයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට හිමි සියලු විශ්‍රාම වැටුප් හිමිකම් තහවුරු කර දීමත් අරමුණු කරගෙන සත්කාර සියස ක්‍රියාවලිය ආරම්භ කරන ලදී.

ඒ අනුව විශ්‍රාමිකයකුගේ විශ්‍රාම වැටුප් අයදුම්පත පරීක්ෂා කර එම තොරතුරු තහවුරු කර ගැනීමෙන් පසු විශ්‍රාමිකයාව සත්කාර පියසට කැඳවීමක් කරනු ලැබේ.සෑම විශ්‍රාමිකයකුටම සත්කාර පියසට පැමිණීමට නියමිත දිනයක් සහ වේලාවක් ලබා දෙන අතර, නියමිත වේලාවට ඔහුට/ඇයට සේවාව ලබා දීම ට වෙනම නිලධාරියකු සූදානමින් සිටී.

එහි දී නිලධාරියාගේ අනන්‍යතාව තහවුරු කරගෙන විශ්‍රාම වැටුප් සක්‍රිය කිරීම, විශ්‍රාමිකයාගේ පවුලේ තොරතුරු සනාථ කරගෙන විශ්‍රාම වැටුප් හිමිකම් පත්‍රය නිකුත් කිරීම, විශ්‍රාමිකයාගේ ඇඟිලි සලකුණු ලියාපදිංචි කිරීම හා විශ්‍රාමික හැඳුනුම්පත්‍රය නිකුත් කිරීම සිදු කෙරේ. නිවැරදි තොරතුරු සමඟ ඉදිරිපත් කරන අයදුම්පත්‍රයකට සත්කාර පියස හරහා විශ්‍රාම වැටුප සක්‍රිය කිරීමට ගත වන මුළු කාලය සති 02 ත් 03 ත් අතර වේ. මේ මඟින් විශ්‍රාම වැටුප සක්‍රිය කිරීම ඉතා කඩිනම් වී ඇති අතර සියළු පරිගණක තොරතුරු මාර්ගගත ක්‍රමයට හා කෙටි පණිවිඩ මාර්ගයෙන් හුවමාරු කරන බැවින් පිරිවැය ද අවම වී ඇත.

සියළුම විශ්‍රාමික නිලධාරින් තම විශ්‍රාම වැටුප සක්‍රිය කර ගැනීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත එක් වරක් පැමිණිය යුතුය.එසේ විශ්‍රාම වැටුප සක්‍රිය කිරීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා රැගෙන ආ යුතු ලිපි ලේඛන පහත දැක්වේ.


  • නිලධාරියාගේ ජාතික හැඳුනුම්පත, එහි පිටපතක් හා උප්පැන්න සහතිකයේ මුල් පිටපත.
  • කලත්‍රයාගේ ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් හා උප්පැන්න සහතිකයේ මුල් පිටපත.
  • වැන්දඹු අනත්දරු සාමාජික කාඩ්පත.
  • විවාහ සහතිතයේ මුල් පිටපත හෝ කලත්‍රයාගෙන් දික්කසාද වී ඇත්නම් දික්කසාද නියත තීන්දුවේ මුල් පිටපත.
  • කලත්‍රයා මියගොස් ඇත්නම් මරණ සහතිකයේ මුල් පිටපත.
  • නිලධාරියාගේ හෝ කලත්‍රයාගේ පෙර විවාහ ඇත්නම් ඒවා නීත්‍යානුකූලව අවසන් වූ බව තහවුරු කිරීමට දික්කසාද නියත තීන්දුවේ මුල් පිටපත හෝ පෙර කලත්‍රයාගේ මරණ සහතිකයේ මුල් පිටපත.
  • වයස අවු.26 ට අඩු දරුවන්ගේ උප්පැන්න සහතික වල මුල් පිටපත්.
  • නම්වල පරස්පරතාවයක් පවතීනම්, ඒ බව සනාථ කිරීමට දිවුරුම් ප්‍රකාශන හෝ වෙනත් සුදුසු ලේඛන (දිවුරුම් ප්‍රකාශ මඟින් නම්වල ඇති අකුරු වෙනස්කම් වැනි සුළු වෙනස්කම් පමණක් ආවරනය කර ගත හැක.අලුතින් නම් කොටස් ඇතුළත් කිරීම් ඇතුළු වෙනත් වෙනස්කම් සඳහා අදාළ පරිදි උප්පැන්න සහතිකයේ 13 තීරය සංශෝධනය හා අදාළ පරිදි අනෙකුත් ලේඛන සංශෝධනය කිරීම අවශ්‍ය වේ. )
  • ආබාධිත දරුවන් සිටීනම් ඔවුන්ගේ ආබාධිත තත්වය උපතේදී හෝ වයස අවුරුදු 26 ට පෙර සිදුවූ බවට සනාථ කිරීමට අවශ්‍ය වෛද්‍ය වාර්තා, සායනික තොරතුරු හා රෝග නිධානය පිළිබඳ වාර්තා, පෝස්ට්කාඩ් ප්‍රමාණයේ (සම්පූර්ණ) වර්ණ ඡායා රූපයක්, සෞඛ්‍ය 307 වාර්තාව හා උප්පැන්න සහතික වල මුල් පිටපත්.
  • කලත්‍රයාගේ පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූපයක්.

සියලුම උප්පැන්න/විවාහ/මරණ සහතික ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගත් මුල් පිටපත් විය යුතුය. (නොමිලේ නිකුත් කරන ලද පිටපත් මුල් පිටපත් ලෙස සලකනු නොලැබේ.)

ඉහත සියළු ලේඛන පරිලෝකනය (Scan) කොට එම ලිපි ලේඛන සියල්ල නැවත නිලධාරියා වෙත භාරදෙනු ලබයි. නිලධාරයා වැන්දඹු අනත්දරු අරමුදලට දායක වී නොමැති නම්, ඉහත ලේඛන රැගෙන ඒම අවශ්‍ය නොවන අතර එවැනි විටක දී විශ්‍රාමික හැදුනුම්පත නිකුත් කිරීම පමණක් සිදු කෙරේ.

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline