රාජ්‍ය සේවයේ ස්ථිර, විශ්‍රාම වැටුප් හිමි තනතුරක් දරන සියලු රාජ්‍ය නිලධාරීන් හා නිලධාරිනියන් වැ.අ.වි.වැ. ක්‍රමයෙහි ලියාපදිංචි වීම අනිවාර්ය වේ.

පසුබිම
  • රාජ්‍ය සේවයෙහි නියුතු නිලධාරීන්ගේ ඇවෑමෙන් පසුව ඔවුන්ගේ වැන්දඹුවන්ට හා අනත්දරුවන්ට විශ්‍රාම වැටුප් ප්‍රදානය සඳහා 1898 අංක 01 දරන වැන්දඹු හා අනත්දරු අරමුදල් ආඥාපනත මගින් ප්‍රතිපාදන සලසා ඇති අතර, වර්ෂ 1983 ට පෙර කාලයෙහි දී රාජ්‍ය සේවයෙහි නියුතු පුරුෂ නිලධාරීන් පමණක් වැ.අ.වි.වැ. ක්‍රමයෙහි අනිවාර්ය දායකයින් විය.
  • එහෙත් රාජ්‍ය සේවයෙහි කාන්තා පක්ෂයේ නියෝජනය වැඩිවෙත් ම ඔවුන් වෙත ද මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයට දායකත්වය ලබා ගැනීම සඳහා අවස්ථාව සැලසිණි. ඒ, පුරුෂ නිලධාරීන්ට පමණක් සීමා වී පැවති මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයට කාන්තා නිලධාරීන්හට දායකත්වය ලබා දීම සඳහා 1983 අංක 24 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් පනත හඳුන්වා දීම මගිනි.
  • කෙසේ නමුත් 1983.08.01 දිනට පෙර පත්වීම ලබා, එදින වන විට රාජ්‍ය සේවයේ සිටි නිලධාරිනියන්හට සිය මනාපය පරිදි වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයෙහි සාමාජිකත්වය ලබා ගැනීම සඳහා අවකාශ හිමි විය.

    මනාපය/ අමනාපය ප්‍රකාශ කිරීම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 231 මගින් හඳුන්වා දෙන ලද “ ‘අ’ පරිශිෂ්ටය” මගින් පමණක් සිදු කළ යුතුය. මෙලෙස දායිකාවක නොවීමට මනාපය පළ කරන ලද නිලධාරිනියක වෙත තම මනාපය ප්‍රකාශ කිරීම, සංශෝධනය කිරීමේ අවස්ථාව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 291 මගින් ලබාදුන් අතර, එම අවස්ථාව 1986.05.10 දිනයෙන් අවසන් විය. එතෙකුදු වුවත් නිලධාරිනියන්ට සිය මනාපය ප්‍රකාශ කිරීම සඳහා වරින් වර අවස්ථාව ලබා දුන් අතර, අවසන් වරට එසේ අවස්ථාව ලබාදීමක් සිදු කරන ලද්දේ විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 03/2014 මගින් වන අතර, එම කාල සීමාව 2014.12.31 දිනයෙන් අවසන් විය.
  • 1898 අංක 01 දරන වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් ආඥාපනතෙහි 3 වන වගන්තිය මඟින් වැ.අ.වි.වැ. අරමුදල මෙලෙස අර්ථදක්වා ඇත.

    “ 3. 1885 හි අංක 20 සහ 1896 හි අංක 21 දරණ ආඥාපනත්වලින් නිර්මාණය කොට” වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල” නමින් අඛණ්ඩව පවත්වා ගෙන එන (මෙහි මින් මතු අරමුදල නමින් හැදින්වෙන) යම් අරමුදලක් වේද එම අරමුදලේ දායක මුදල් වශයෙන් මෙහි මින් මතු නියම කෙරෙන ආකාරයෙන් ලැබෙන සියළුම මුදල් එම අරමුදලට ගිණිය යුත්තේය.
    එසේ ලැබෙන අරමුදල් ද ඊට එකතුවන පොලිය ද මෙහි මතු කියැවෙන විධිවිධාන අනුව අරමුදල පවත්වා ගෙන යාමට අවශ්‍ය වන වියදම් දැරීම සඳහා ද, අවලංගු කොට ඇති යම් යම් අණපනත්වල විධිවිධාන අනුව සහ ඒවාට යටත් කොට වැන්දඹුවනට හා අනාථ දරුවනට දැනටමත් අරමුදල විසින් ගෙවනු ලබන විශ්‍රාම වැටුප් සහ මෙහි මතු දැක්වෙන විධිවිධාන අනුව හා ඒවාට යටත් කොට දැන් හා මතු දායකවන රාජ්‍ය නිලධාරීන්ගේ වැන්දඹුවනට හා අනාථ දරුවනට විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ද යොදා ගත යුත්තේ ය.”
  • 1898 අංක 01 දරන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් ආඥා පනතෙහි 21 වන වගන්තියෙහි රාජ්‍ය නිලධාරියෙකු වැ.අ.වි.වැ.ක්‍රමයෙහි ලියාපදිංචි වීම සම්බන්ධයෙන් විධිවිධාන දක්වා ඇත.

    “21. සෑම රාජ්‍ය නිලධාරියෙකු විසින්ම, ඔහු අරමුදලේ දායකත්වය ලැබීමට සුදුස්සකු වූ දිනයේ සිට තුන් මසක් ඇතුලත ඔහු එසේ දායකත්වය ලැබීමට සුදුස්සකු වූ දිනය, ඔහුගේ සම්පූර්ණ නම, හා උපන්දිනය, විවාහක නම් විවාහ වූ දිනය, භාර්යාවගේ කන්‍යා නාමය හා උපන් දිනයද දරුවන් සිටී නම් ඔවුන්ගේ නම් හා උපන් දිනයන්ද දැක්වෙන ප්‍රකාශනයක් අධ්‍යක්ෂවරුන් වෙත ඉදිරිපත් කළ යුත්තේය.”
  • 1983 අංක 24 දරන වැන්දඹු පුරුෂ සහ අනත්දරු විශ්‍රාම වැටුප් පනතෙහි 5 වන වගන්තිය මඟින් රාජ්‍ය නිලධාරිනියන් වැ.පු.අ.වි.වැ. ක්‍රමයෙහි ලියාපදිංචි වීම සම්බන්ධයෙන් විධිවිධාන දක්වා ඇත.

    “සෑම දායිකාවකම විසින් ඇය දායිකාවක වූ දිනය, ඇගේ සම්පූර්ණ නම සහ ඇගේ උපන් දිනය සහ ඇය විවාහක නම්, ඇගේ විවාහ දිනය, ඇගේ ස්වාමිපුරුෂයාගේ සම්පූර්ණ නම, ඇයට දරුවකු හෝ දරුවන් සිටිත් නම්, ඔවුන්ගේ සම්පූර්ණ නම් සහ ඔවුන්ගේ ඒ ඒ උපන්දින දැක්වෙන ප්‍රකාශනයක් එසේ තමා දායිකාවක වීමේ දින සිට මාස තුනක් ඇතුළත අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කළ යුතු ය.”
ක්‍රමවේදය
  • 2016 වර්ෂයේ දී විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 02/2016 අනුව වැන්දඹු අනත්දරු අරමුදලේ ලියාපදිංචි අංක නිකුත් කිරීම මාර්ගගත ව සිදු කිරීම ආරම්භ කරන ලදී.
  • මේ වන විට භාවිත කරනුයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීම සහ එම අයදුම්පත් සඳහා ස්වයංක්‍රීය ව අංක නිකුත් කිරීමේ ක්‍රමය වේ. මේ සඳහා නිකුත්කර ඇති චක්‍රලේඛය විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 02/2016 හා 02/2016 (සංශෝධන 1) වේ. මෙහිදී අවශ්‍ය ලිපිලේඛන අදාළ ආයතනය මඟින් දත්ත පද්ධතියට උඩුගතකර (Upload) යොමු කළ යුතුය.
  • විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙහි විෂය නිලධාරී විසින්, අයදුම්පත පරීක්ෂාකර සුදුසුකම් සපුරන නිලධාරීන්ගේ අයදුම්පත් සිය පිවිසුම මඟින් තහවුරු කිරීම මඟින් අංක නිකුත් කිරීම සිදු කරනු ලබයි. මෙම අංකය සහිත සාමාජික පත්‍රය මෘදු පිටපතක් ලෙස දිස්වන අතර, දෘඪ පිටපත් ලබා ගැනීමට ද හැකි ය. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ (pensions.gov.lk) හි Public Services මෙනුවට පිවිස ජාතික හැඳුනුම්පත් ඇතුළත් කිරීමෙන් මෙම මෘදු පිටපත ලබාගත හැකි ය.
  • එසේම අඩුපාඩු සහිත අයදුම්පත් ප්‍රතික්ෂේපකර නැවත අඩුපාඩු කැඳවීම සඳහා දෝෂ සටහන් (Error notes) යොමු කිරීම පද්ධතිය මඟින් ම සිදු කෙරේ. ඉන්පසු එම අයදුම්පතේ අදාළ නිවැරදි කිරීම් සිදුකර නැවත යොමු කිරීම (re-submit) අදාළ ආයතනයෙහි විෂය නිලධාරී විසින් සිදු කළ යුතුය.
  • අයදුම්පත් යොමු කළ අවස්ථාවේ සිට අයදුම්පතෙහි කටයුතු සිදු කරන සෑම පියවරකදී ම, දත්ත ඇතුළත් කිරීමේ දී සඳහන් කර ඇති අදාළ නිලධාරියාගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් යවනු ලැබේ. මෙමගින් අදාළ අයදුම්පතෙහි අනුමත කරන තෙක් සිදු කරනු ලබන වැඩ පියවරයන් සම්පූර්ණ වීම පිළිබඳ ව හා අඩුපාඩු ඇත්නම් ඒ පිළිබඳව නිලධාරියා දැනුම්වත් වීම අපේක්ෂා කෙරේ.
  • යම් විවාහක නිලධාරියෙකු/ නිලධාරිනියක මියයාමෙන් පසුව කලත්‍රයා වෙනුවෙන් ප්‍රතිලාභ හිමිගැන්වීමේ ක්‍රියාවලියේ දී සාමාජික අංකයක් නොමැති බව තහවුරු වුවහොත් එම අවස්ථාවේදී ඔහු අවසන් වරට සේවය කරන ලද ආයතනයෙහි ඔහු/ඇයගේ පෞද්ගලික ලිපිගොනුව මඟින්
  • වැ.අ.වි.වැ./ වැ.පු.අ.වි.වැ. අංකය ලබා ගැනීම සඳහා ඉහත ii. හි සඳහන් උපදෙස් පරිදි අයදුම් කළ යුතුය.

එසේ ම විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 04/2017 මඟින්, මාර්ගගත නොවන ක්‍රමය යටතේ වැ.අ.වි.වැ./ වැ.පු.අ.වි.වැ. අංක ලබා ගෙන ඇති දැනට සේවයේ යෙදී සිටින සාමාජික/ සාමාජිකාවන් සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වෙත පිවිස ඔවුන්ගේ තොරතුරු ඇතුළත්කර එම පැරණි අංකය යටතේ ම නැවත ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දී තිබූ අතර, එම කාල සීමාව 12.31 දිනයෙන් අවසන් වී ඇත. එසේ වුවත් ආයතනයන්හි පෞද්ගලික ලිපිගොනු සම්බන්ධයෙන් කටයුතු කරන විෂය නිලධාරීන්/ නිලධාරිනියන් හට ඔවුන්ගේ පිවිසුම් (login) මඟින් මේ වන විටත් එම පැරණි අංක ලබාගත් සාමාජික/ සාමාජිකාවන්ගේ තොරතුරු ඇතුළත් කිරීමේ හැකියාව පවතී.

“ඉදිරියේදී වැන්දඹු හා අනත්දරු ලිපිගොනු යාවත්කාලීන කිරීම සඳහා වූ ලේඛනයන් අදාළ ආයතනයන් විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු නොකළ යුතු අතර, එම ලේඛන තම පෞද්ගලික ලිපිගොනුවට ඇතුළත් කළ යුතු අතර විශ්‍රාම ලබාගැනීමේදී සිවිල් විශ්‍රාම වැටුප් ගොනුවට ඇතුළත් කිරීම ප්‍රමාණවත් වේ.” යනුවෙන් විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 06/2015(1) හි 2.ii. වගන්තිය මඟින් ගොනු යාවත්කාලීන කිරීම සඳහා උපදෙස් නිකුත්කර ඇත. පෙර පැවති ක්‍රමය අනුව අදාළ දායකයා/ දායිකාවගේ සේවා ස්ථානය මඟින් ඔහුගේ/ ඇයගේ විවාහය, මරණය, දරුවන්ගේ උප්පැන්න සහතික ආදී ලේඛන, වැ.අ.වි.වැ./ වැ.පු.අ.වි.වැ. අංකය ද සඳහන් කරමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු‍ වැ.අ.වි.වැ. අංශය වෙත යොමු කිරීම සිදු කරන ලද අතර, ඒ අනුව එම ලිපිලේඛන අදාළ අංකයට හිමි ලිපිගොනුවට ඇතුළත් කිරීම සිදු කරන ලදී.

අවශ්‍ය ලිපිලේඛන
  • නිලධාරියාගේ ස්ථිර හා විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලිපිය
  • ජාතික හැඳුනුම්පතේ පිටපත
  • ආයතන ප්‍රධානියා විසින් සහතික කරන ලද දත්ත පත්‍රිකාව (Data sheet)
  • ආයතන සංග්‍රහයේ  විධිවිධාන මඟින් සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 23/94 මඟින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව අවු.45 ලෙස දක්වා ඇත. එබැවින් පත්වීම ලබන අවස්ථාවේදී නිලධාරියාගේ වයස අවු.45 ඉක්මවා ඇත්නම් ඉහත ලිපි ලේඛනවලට අමතරව පත්වීමේ විධිමත්භාවය තහවුරු කිරීමේ ලිපිලේඛන ද ඉදිරිපත් කළ යුතුය.

    උදා:

    1. පත්වීම ලබා දීමට අදාළ කැබිනට් මණ්ඩල අනුමැතිය

    2. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද චක්‍රලේඛය

    3. වයස අවු.45 එළඹීමට පෙර අනියම්/ තාවකාලික/ කොන්ත්‍රාත්/ ආදේශක පත්වීමක් ලබා ඇත්නම්
    • අදාළ පත්වීම ලබාදුන් පත්වීම් ලිපිය
    • රා.සේ.අ.අ. හෝ වෙනත් අර්ථසාධක අරමුදලකට දායක වී ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු
    • පොදු 226 චර්යා සටහනෙහි සහතික කළ පිටපත්
    • අදාළ පත්වීමේ විධිමත්භාවය සනාථ කරන හා පත්වීමේ තොරතුරු සනාථ කරන වෙනත් ලියවිලි
    • අදාළ තනතුර සඳහා අයදුම්පත් කැඳවන ලද පුවත්පත් දැන්වීම්/ ගැසට් පත්‍ර ආදී තොරතුරු
අයදුම් කිරීම

4 application

සාමාජික පත්‍රය ලබා ගැනීම

4 application

භාවිත කෙරෙන චක්‍රලේඛ 

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline