පසුබිම
  • 2010 අංක 08 දරන සංශෝධිත වැන්දඹු අනත්දරු පනත හා 2010 අංක 09 දරන සංශෝධිත වැන්දඹු පුරුෂ හා අනත්දරු පනත මගින් යළි විවාහ වන වැන්දඹුවන්/ වැන්දඹු පුරුෂයන් උදෙසා ගෙවමින් පැවති විශ්‍රාම වැටුපෙන් අර්ධයක් (50%) හිමිගැන්වීමේ අවකාශය ලබා දෙන ලදි. මේ සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 13/2010 හි 07 වන වගන්තිය බල පැවැත්වෙන අතර වැන්දඹු/වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුපෙන් අර්ධයක් යළි විවාහ වූ වැන්දඹුවට/වැන්දඹු පුරුෂයාට හිමිගැන්වීමට සහ පූර්ව අනත්දරුවන් සිටීනම් (දායකයාගේ/දායිකාවගේ නීත්‍යනුකූල දරුවන්) ඔවුන්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට ද විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2013 මගින් ඉඩ සලසා දී ඇත.
  • යම් වැන්දඹු විශ්‍රාමිකාවකගේ/වැන්දඹු පුරුෂයෙකුගේ නැවත විවාහය, 13/2010 චක්‍රලේඛය ක්‍රියාත්මක වූ 2010.08.17 දිනට පූර්වයෙන් සිදු වූයේ නම් 50% ක ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා හිමිකම් පෑමේ අවසාන දිනය විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2014 අනුව 2014.12.31 දිනයෙන් අවසන්ව ඇත
  • වැන්දඹු භාර්යාවක්/වැන්දඹු පුරුෂයෙක් වැන්දඹු/වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ සඳහා ඉදිරිපත් වන අවස්ථාව වන විට ද නැවත විවාහයකට පත්ව සිටී නම්, දායකයා/දායිකාව මියගිය දින සිට ලැබීමට නියමිතව තිබුණා වූ එහෙත් ලබා නොගත් වැටුපෙන් අර්ධයක් වැන්දඹුවට/වැන්දඹු පුරුෂයාට හිමිගන්වන අතර දායකයාගේ/දායිකාවගේ නීත්‍යනුකූල අනත්දරුවන් සිටී නම් එම සියලු හිඟ මුදල් අනත්දරුවන් නමින් ගිණුම් ගත කර, 100% වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප අනත්දරුවන් වෙත හිමිගන්වනු ලැබේ අනත්දරුවාගේ වයස අවුරුදු 26 සම්පූර්ණ වීම හෝ අනත්දරුවා රැකියාවක නිරත වීම යන දෙකෙන් ප්‍රථමයෙන් එළඹෙන අවස්ථාව අනුව අනත්දරු වැටුප් ගෙවීම නතර කර, වැන්දඹුව/වැන්දඹු පුරුෂයා වෙත 50% වැ.වි.වැ./වැ.පු.වි.වැ. ගෙවීම පිළිබඳ සලකා බලනු ලැබේ.
  • එසේම යම් වැන්දඹුවක/වැන්දඹු පුරුෂයෙකු එළ‍ඹෙන්නාවූ දෙවන විවාහයෙන් ද දික්කසාද වන අවස්ථාවක දී වුව ද ඇය/ඔහු වෙත හිමිවෙනුයේ 50% ක වැන්දඹු/වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් ප්‍රමාණයම පමණි.
ක්‍රමවේදය
  • වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුපක් ලබමින් සිටිය දී නැවත විවාහයකට ඇතුළත් වීම හේතුවෙන් විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 13/2010 අනුව එකී විවාහයට එළඹි දින සිට 50% වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් හිමිගැන්වීම සිදු‍ කෙරේ.
  • මේ සම්බන්ධයෙන් 1898 අංක 1 දරණ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ආඥා පනතේ වන වගත්තිය සහ 1983 අංක 23 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් පනතේ 18 වන වගන්තිය ප්‍රතියෝජනය කරමින් 2010 අංක 8 දරන වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් (සංශෝධන) පනතේ 6 වන වගන්තිය හා 2010 අංක 9 දරන වැන්දඹු පුරුෂ සහ අනත්දරු විශ්‍රාම වැටුප් (සංශෝධන) පනතේ 4 වන වගන්තිය මඟින් පහත පරිදි නව විධිවිධාන සලසා ඇත.
2010 අංක 8 දරන වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් (සංශෝධන) පනත

“ 6. ප්‍රධාන ප්‍රඥප්තියේ 34 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් වගන්තිය ආදේශ කරනු ලැබේ:

34. (1) දායකයකුගේ වැන්දඹුවක, ඇය නැවත විවාහ වීමේ දී, ඒ දෙවන විවාහය වූ දිනට පසුව සිට විශ්‍රාම වැටුප ලෙස, 

  • (අ) ඒ දෙවන විවාහය සිදුවන අවස්ථාවේ දී ඇය ලබමින් සිටි විශ්‍රාම වැටුපෙන් අර්ධයක්; හෝ
  • (ආ) විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම තිබුණ ද, සැබෑ වශයෙන් එය එතෙක් නොලැබ තිබූ විටෙක, ඒ දෙවන විවාහයට පෙරාතුව, වැන්දඹුවක ලෙස ඇගේ තත්ත්වයෙන් ඇයට ලැබීමට තිබූ මුදල් ප්‍රමාණයෙන් අර්ධයක්, ලැබීමට හිමිකම ලැබිය යුතු ය.

(2) ඉහත (අ) හෝ (ආ) ඡේදවල නියමයන්ට අනුව වැන්දඹුවට ගෙවනු ලැබීමෙන් පසු, වැන්දඹුව ලබමින් සිටි විශ්‍රාම වැටුපේ ඉතිරි කොටස වැන්දඹුවගේ ප්‍රථම විවාහයේ දරුවන් වෙත ලැබිය යුතු ය.

(3) ඒ දෙවන විවාහයේ කලත්‍රයාත් අරමුදලේ දායකයකු වන අවස්ථාවේ දී සහ ඒ කලත්‍රයාගේ මරණින් පසු ඒ කලත්‍රයා විසින් අරමුදලට ගෙවන ලද දායක මුදල් සම්බන්ධයෙන් විශ්‍රාම වැටුපක් ලැබීමට ද ඒ වැන්දඹුව හිමිකම් ලබන අවස්ථාවක දී (1) වන උපවගන්තියේ (අ) හෝ (ආ) ඡේදවල නියමයන්ට අනුව විශ්‍රාම වැටුපක් ලෙස ඇය විසින් ලැබූ යම් මුදලක් ගෙවීම දෙවන විවාහයේ ඇගේ කලත්‍රයා මියගිය දින සිට බලපැවැත්වෙන පරිදි අවසන් කළ යුතු ය:

එසේ වුව ද, ඉහත විධිවිධාන සලසා ඇති පරිදි විශ්‍රාම වැටුපක් ගෙවීම අවසන් කරන ලද අවස්ථාවක දී, වැන්දඹුවගේ පළමු විවාහයේ දරුවන්හට, ඔවුන්ගේ මවගේ දෙවන විවාහයේ කලත්‍රයා මිය ගිය දින සිට,

(2) වන උපවගන්තියට අනුව ඔවුන් ලබමින් සිටි කොටස් සහ එකී අවසන් කිරීමට පෙරාතුව (1) වන උපවගන්තියේ විධිවිධාන ප්‍රකාරව තම මව ලබමින් සිටි යම් මුදලක් ද ලබා ගැනීමට හිමිකම තිබිය යුතු ය:

එසේ වුව ද, වැඩි දුරටත්, ඒ දෙවන විවාහය විසිරුවා හරින අවස්ථාවක දී, වැන්දඹුවට, (1) වන උපවගන්තියේ විධිවිධාන ප්‍රකාරව ඇය ලැබූ අර්ධය විශ්‍රාම වැටුපක් ලෙස ලැබීමට හිමිකම් ලැබිය යුතු අතර, (2) වන උපවගන්තිය යටතේ දරුවන්ට ඇති හිමිකමේ වෙනසක් නොවන්නේ ය.”

2010 අංක 9 දරන වැන්දඹු පුරුෂ සහ අනත්දරු විශ්‍රාම වැටුප් (සංශෝධන) පනත  

“4. ප්‍රධාන ප්‍රඥප්තියේ 18 වන වගන්තිය මෙයින් පරිච්ඡින්න කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් වගන්තිය ආදේශ කරනු ලැබේ:

18. (1) දායිකාවකගේ වැන්දඹු පුරුෂයකු නැවත විවාහ වීමේ දී, ඔහුට ඒ දෙවන විවාහය වූ දිනට පසුව සිට විශ්‍රාම වැටුප ලෙස,

  • (අ) ඒ දෙවන විවාහය සිදුවන අවස්ථාවේ දී ඔහු විසින් ලබමින් සිටි විශ්‍රාම වැටුපෙන් අර්ධයක් ; හෝ
  • (ආ) විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම තිබුණ ද, සැබෑ වශයෙන් එය එතෙක් නොලැබ සිටි විටෙක, ඒ දෙවන විවාහයට පෙරාතුව, වැන්දඹු පුරුෂයකු ලෙස එකී තත්ත්වයෙන් ඔහුට ලැබීමට තිබූ මුදල් ප්‍රමාණයෙන් අර්ධයක් හෝ, ලැබිය යුතු වන්නේ ය.

(2) ඉහත (අ) හෝ (ආ) ඡේදවල නියමයන්ට අනුව වැන්දඹු පුරුෂයකුට ගෙවීම් කිරීමෙන් පසු, දෙවන විවාහයට පෙර වැන්දඹු පුරුෂයා ලබමින් සිටි විශ්‍රාම වැටුපේ ඉතිරි කොටස වැන්දඹු පුරුෂයාගේ ප්‍රථම විවාහයේ දරුවන් විසින් ලැබිය යුතු ය.

(3) ඒ දෙවන විවාහයේ කලත්‍රයාත් මේ පනත යටතේ දායිකාවක වන අවස්ථාවක දී සහ ඒ කලත්‍රයාගේ මරණින් පසු ඒ කලත්‍රයා විසින් විශ්‍රාම වැටුප් ක්‍රමයට ගෙවන ලද දායක මුදල් සම්බන්ධයෙන් ද විශ්‍රාම වැටුපක් ලැබීමට ඒ වැන්දඹු පුරුෂයා හිමිකම ලබන අවස්ථාවක දී (1) වන වගන්තියේ (අ) හෝ (ආ) ඡේදවල නියමයන්ට අනුව විශ්‍රාම වැටුපක් ලෙස ඔහු විසින් ලැබූ යම් මුදලක් ඔහුට ගෙවීම දෙවන විවාහයේ ඔහුගේ කලත්‍රයා මියගිය දින සිට බලපැවැත්වෙන පරිදි අවසන් කළ යුතු ය:

එසේ වුව ද, ඉහත විධිවිධාන සලසා ඇති පරිදි විශ්‍රාම වැටුපක් ගෙවීම අවසන් කරන ලද අවස්ථාවක දී, වැන්දඹු පුරුෂයාගේ පළමු විවාහයේ දරුවන්හට, ඔවුන්ගේ පියාගේ දෙවන විවාහයේ කලත්‍රයා මියගිය දින සිට (2) වන උපවගන්තියේ නියමයන්ට අනුව ඔවුන් ලබමින් සිටි කොටස් සහ එකී අවසන් කිරීමට පෙරාතුව (1) වන උපවගන්තියේ විධිවිධානයන් ප්‍රකාරව තම පියා ලබමින් තිබූ යම් මුදලක් ද ලබා ගැනීමට හිමිකම් ලැබිය යුතු ය:

එසේ වුව ද, වැඩි දුරටත්, ඒ දෙවන විවාහය විසුරුවා හරින අවස්ථාවක දී වැන්දඹු පුරුෂයාට (1) වන උපවගන්තියේ විධිවිධාන ප්‍රකාරව ඔහු ලැබූ අර්ධය විශ්‍රාම වැටුපක් ලෙස ලැබීමට හිමිකම් ලැබිය යුතු අතර, 2 වන උපවගන්තිය යටතේ දරුවන්ට ඇති හිමිකමේ වෙනසක් නොවන්නේ ය.”

  • කලත්‍රයා නැවත විවාහ වූ දින සිට අදාළ පරිදි 50% වැ.වි.වැ./ 50% වැ.පු.වි.වැ./ අනත්දරු වි.වැ. හිමිගන්වනු ලබයි.
අවශ්‍ය ලිපි ලේඛන
  • PD 4 අයදුම්පත
  • දායකයාගේ මරණ සහතිකය - අතිරේක දිස්ත්‍රික්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත් මුල් පිටපත්
  • දායකයාගේ උප්පැන්න සහතිකය - අතිරේක දිස්ත්‍රික්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත් මුල් පිටපත්
  • කලත්‍රයාගේ උප්පැන්න සහතිකය - අතිරේක දිස්ත්‍රික්/ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත් මුල් පිටපත්
  • විවාහ සහතිකය
  • දායකයාගේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත
  • කලත්‍රයාගේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පි‍ටපත
  • කලත්‍රයාගේ බැංකු පාස්පොතේ සහතික කළ පිටපත
  • දායකයාගේ නමේ වෙනස්කම් පවතී නම්, විධිමත් ආයතන ප්‍රධානි තහවුරුවක්
  • කලත්‍රයාගේ නමේ වෙනස්කම් පවතී නම් විධිමත් දිවුරුම් ප්‍රකාශයක් හෝ එම වෙනස්කම් තහවුරු කිරීම සඳහා නෛතික ලිපිලේඛන
    • විවාහ සහතික
    • එම විවාහ අවසන් වූ අයුරු තහවුරු කිරීමට දික්කසාද සහතික (උඩරට සහ මුස්ලිම් විවාහ  සඳහා)
    • දික්කසාද නඩුවේ නියත තීන්දු ප්‍රකාශ
    • මරණ සහතික යන ලේඛනයන්හි මුල් පිටපත්දායකයාගේ හෝ කලත්‍රයාගේ පෙර විවාහ පවතී නම් එම විවාහයන්හි,
  • දායකයාගේ පෙර විවාහයන්ගෙන් උපන් අවු.26 ට අඩු රැකියා විරහිත දරුවන්ගේ උප්පැන්න සහතික සහ බැංකු තොරතුරු
  • අවුරුදු 18 ට වැඩි අනත්දරුවන්ගේ රැකියා වියුක්තිය/ නියුක්තිය තහවුරු කිරීමට අදාළ ලේඛන
  • අනත්දරු භාරකරුවන්ගේ ජාතික හැඳුනුම්පත්වල සහතික කළ පිටපත් හා ඔවුන්ගේ ඉතිරි කිරීමේ ගිණුම්වල පාස්පොත්හි සහතික කළ පිටපත්
  • වැන්දඹුව/ වැන්දඹු පුරුෂයා නැවත විවාහ වූ බව තහවුරු කිරීමට එම විවාහ සහතිකය

මෙහි දී කලත්‍රයින් සියලු දෙනාට අදාල ව ලිපිලේඛන ඉදිරිපත් කළ යුතුය.

අයදුම් කිරීමේ දී අදාළ ආයතනයෙහි කාර්යභාරය

වැන්දඹු /වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් ලබමින් සිටි අයෙකු නැවත විවාහ වීමක දී අයදුම්පත ඉදිරිපත් කළ යුත්තේ අදාළ ප්‍රා.ලේ. කාර්යාලය මඟින් වන අතර, වැන්දඹු /වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් ගෙවීම අරඹා නොමැති අයවළුන්ගේ අයදුම්පත් මියගිය දායකයා /දායිකාව අවසන් වරට සේවය කරන ලද ආයතනය මඟින් ඉදිරිපත් කළ යුතු ය.

8 2

මෙහි දී ගැටළු නොපවතින ලිපි ගොනුවලට අදාළ අයදුම්පත් ප්‍රා.ලේ. කාර්යාලයන්හි විෂය නිලධාරීන් විසින් සිය පිවිසුම ඔස්සේ DS Portal System මඟින් ඉදිරිපත් කළ යුතු ය.

නම්වල සැලකිය යුතු වෙනස්කම්, නැවත විවාහය නොදන්වා වැ.වි.වැ./ වැ.පු.වි.වැ. වැඩිපුර ලබාගෙන ඇත්නම්, පදිංචිය වෙනස්කර ඇත්නම් ආදී ගැටළු සහිත ගොනුවලට අදාළ අයදුම්පත් විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 06/2015(1) යටතේ මාර්ගගත නොවන ආකාරයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු ය.

භාවිත කෙරෙන ආඥාපනත්, පනත් හා චක්‍රලේඛ
භාවිත වන වර්ග සංකේත අංක
  • නැවත විවාහ වන හමුදා වැන්දඹුවන් - 60
  • නැවත විවාහ වන සිවිල් වැන්දඹුවන් - 61
  • නැවත විවාහ වන වැන්දඹු පුරුෂයන් - 62

 

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline